E1M1 16 06 2020

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ මඩකලපුව ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අතර හමුවක් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි  ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි. රෝහලේ පැවති අඩුපාඩු සම්බන්ධව මෙහිදි සාකච්ඡා කළ අතර දැනට භාවිතා කිරීමට නොහැකි තත්වයේ පවතිනCT Scannerයන්ත්‍රය නිසා පසුගිය සති 3ක්ම රෝගීන් අපහසුතාවයට පත් වී ඇති බවට හෙළි විය. මෙම ස්කෑනර් යන්ත්‍ර පැරණි මාදිලියේ ඒවා නිසා නව තාක්ෂණ ක්‍රමවේදයකට අලුත්වැඩියා කිරීමට ද නොහැකි බව වෛද්‍යවරුන් ආණ්ඩුකාරවරියට පැවසුහ.

එම යන්ත්‍ර නොමැති නිසාCT Scannerවලට භාජනය කිරීමට අවශ්‍ය රෝගීන් අම්පාර හා කල්මුණේ රෝහල් වලට මාරු කර යැවීමට සිදු වේ. දිනකට රෝගීන් 16ත් -25ත් අතර සංඛ්‍යාවක්CT Scannerවලට භාජනය කිරීමට  සිටින නමුත් ගිලන්රථ මගින් මාරු කර යැවීමට හැකි වන්නේ රෝගීන් පස්දෙනෙකු පමණි. හදිසි අනතුරු අවස්ථාවලදී පැමිණෙන රෝගින්ට කඩිනම් ප්‍රතිකාර ලබා දීමටද මේ නිසා හැකියාවක් නොමැති බව වෛද්‍යවරුන් පැවසූහ.

මෙම අපසුතාවය මගහැර ගැනීමට නව තාක්ෂණය ඇතිCT Scannerයන්ත්‍රයක් ලබා ගැනීමට කාර්යාල මට්ටමින් සෞඛ්‍ය අමාත්‍යංශයට ඉල්ලීම් කර තිබුණද මෙම කාල සිමාව තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබේ. මෙම ගැටළුව ගැන ආණ්ඩුකාරතුමියගේ අවධානයට යොමු කළ අතර ඊට අවශ්‍ය පියවර කඩිනමින් ලබා දීමට උත්සහ කරන බව ආණ්ඩුකාරවරිය පොරොන්දු වූවාය.

මේ අතර වසර 4කට පෙර පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරිමට අවශ්‍ය විකිරණ යන්ත්‍ර උපකරණ ඇනවුම් කළ ද එම යන්ත්‍ර රෝගින්ට ප්‍රතිකාර කිරීම සඳහා ‍්භාවිතා නොකරන බවද මෙහිදි හෙළි විය.

විශේෂයෙන්ම මඩකලපු දිස්ත්‍රික්කයේ ශීක්ෂණ රෝහලේ කෝටි ගණන් වියදම් කර‍ ඇනවුම් කළ මෙම යන්ත්‍ර උපකරණ භාවිත නොකිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසද එම වෛද්‍යවරුන් ආණ්ඩුකාරතුමියගෙන් ඉල්ලීමක් කළහ.

මෙම රෝහලේ වෛද්‍යවරුන් 60කට වැඩි සංඛ්‍යාවක් සේවය කළ ද අවශ්‍ය ප්‍රමාණයට යන්ත්‍ර උපකරණ නොමැති නිසා ප්‍රතිකාර උපරිම ලෙස රෝගීන්ට ලබා දීමට නොහැක බවද ආණ්ඩුකාරතුමිය සමග වෛද්‍යවරුන් සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාව සදහා දිස්ත්‍රික් ලේකම් කලාමතී පත්මරාජා,ප්‍රධාන ලේකම් තුසිත වනිගසේකර,ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක මහතා ද සහභාගි වූහ.

 E1M2 16 06 2020

 

 

 

 

 

© Provincial Planning Secretariat - EPC