E2M2 20 11 2020

ත්‍රිකුණාමලය සාම්පල්තිව් කලපුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කර එම පරිසර  සංවේදි ප්‍රදේශය වනජීවි කලාපයක් ලෙස ගැසට් කිරීමට කටයුතු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (19) පෙරවරුවේ අදාළ බලධාරින්ට නියෝග කළාය.

ඒ එම කලපුවේ අනවසර ඉදිකිරීම් නතර කිරීම සදහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සදහා ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදීය. ගැසට් කිරීමේ කටයුතු මසක් තුළ අවසන් කරන ලෙසද ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය.

හෙක්ටයාර් 245ක් පුරා විහිදෙන මෙම සාම්පල්තිව් කලපුව සහ ඒ ආශ්‍රිත තෙත් බිම් ප්‍රදේශය ජෛව විවිධත්වයකින් යුත් සංවේදි කලාපයකි. 2017 වසරේ සිට මෙහි විවිධ ඉදිකිරීම් සදහා අවසර ලබාදී ඇති අතර ඇතැම් ඉඩම් පෞද්ගලික හිමිකරුවන්ගේ යැයි ද පවසති. පරිසර සංවේදි කලාපයක මෙවැනි ඉඩම් ලැබී ඇත්තේ කෙසේ දැයි යළිත් වරක් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ආණ්ඩුකාරවරිය පළාත් වැඩබලන ඉඩම් කොමසාරිස්වරයාට නියෝග කළාය.

ඊට අමතරව එම ප්‍රදේශයේ දැනට සිදු කරගෙන යන සියළු ඉදි කිරීම් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන් ආණ්ඩුකාරවරිය අදාළ ප්‍රදේශය වනජීවි කලාපයක් ලෙසට වෙන් කර ඇති බවට වහාම දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරන ලෙසද උප්පුවේලි ප්‍රාදේශිය සභාවට නියෝග කළාය.

යම් ලෙසකින් මෙම අවසර නිකුත් කිරීමේදි නිළධාරින් වැරැද්දක් සිදු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව ද තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද ඇය කීවාය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවාය.

“මම මේ පළාතට ආපු දවසේ ඉදලා මට ජනතාවගෙන් බොහෝ පැමිණිලි මේ ගැන ලැබුණා. මේ පිළිබදව නිහඩව බලා සිටිනවා යැයි පවසමින් මාධ්‍ය ඒ ගැන කතා කළා. මෙය ඉතාම නීති විරෝධි වැඩක් පෞද්ගලික ඉඩම් තිබෙනවායැයි කෙසේ සදහන් කරත් බැලු බැල්මට ඕනෑම පුද්ගලයෙකුට පේනවා මේක කලපුව කියලා. කලපුවක් ඇතුලේ හැමදාම අළුත් අළුත් ගොඩනැගිලි හැදෙනවා. කොහොමද මෙහෙම වෙන්නේ. නිතියක් නැති දිස්ත්‍රික්කයක් වගේ තමයි මේ වැඩ වෙලා තියෙන්නේ. මසක් තුළ අපි මේ ප්‍රශ්ණයට විසදුමක් ලබා දිය යුතුයි. ඒ කටයුතු ඉවර වෙන තුරු මෙහි ඉදිකිරීම් කටයුතු කරන්න දෙන්න එපා.”යැයිද ආණ්ඩුකාරවරිය කියා සිටියාය.

මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්, ආණ්ඩුකාර ලේකම්, නාගරික සංවර්ධන අධිකාරිය, වන සම්පත් වනජීවි දෙපාර්තමේන්තුව, පොලිසිය, උප්පුවේලි ප්‍රාදේශිය සභාව ඇතුළු නිළධාරින් රැසක් එක්ව සිටියහ.

 

E2M1 20 11 2020

 

 

 

© Provincial Planning Secretariat - EPC