E1M4 01 01 2021

රටක් දියුණු කිරීම දේශපාලඥයින්ට පමණක් සිදු කළ නොහැකි බවත් ඒ සදහා නිළධාරින්ටත් විශාල වගකිමක් පැවරෙන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

2021 නව වසරේ වැඩ අරඹමින් ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි අද (04) පෙරවරුවේ ඇය මේ බව කියා සිටියාය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවාය.

“ රටක් දියුණු වෙන්න නම් අපි සියළු දෙනාගේම සහයෝගය තිබෙන්න ඕනේ. ඒ සදහා අපිට ඉතාම හොද අවස්ථාවක් ලැබිලා තියෙනවා නැගෙනහිර පළාතේ ප්‍රධානම කාර්යාලය වන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය හරහා අපේ රටේ දියුණුවට ඉතාමත් හොද සහයෝගයක් ලබා දෙන්න. අපේ සෞභාගයේ දැක්ම වගේම විශේෂයෙන් අද කරපු දිවුරුමේ ඉතා වටිනා කාරණයක් තමයි අපේ රටේ තියෙන වටිනා භෞතික සම්පත් තුළින් අපේ පරිසරය ආරක්ෂා කර ගැනිම.

අපි සංවර්ධනයක් කියලා කියන්නේ පාරක් හදන එකවත්, ප්‍රවාහන පහසුකම් ලබා ගන්න එකවත්, ලයිට් ලබා ගන්න එකවත් නෙවෙයි.සංවර්ධනය වෙනවා කියන එකේ අදහස අපිටත් රටටත් සතාසිව්පාවන්ටත් ගහකොළටත් ජීවත් වෙන්න පුළුවන් වෙන එකයි.

මේ වෙද්දි මම අලුත් වැඩ පිළිවෙලක් පටන් ගත්තා සෞභාග්‍යා දැක්ම ප්‍රතිපත්තියට අනුව පරිසරවේදි කණ්ඩායමක් සමග පසුගිය මාසයක් වගේ කාලයක් තුළ. එහිදි අපේ පළාත තුළ දිස්ත්‍රික්ක තුනෙහිම දිස්ත්‍රික් ලේකම්වරුගෙන් ක්‍රියාකාරි සැලසුම් අරගෙන ඒවා මම පසුගිය සති දෙක පුරාම ඒ අයත් එක්ක රැස්වීම් පවත්වලා මේ සැලසුම් පරිසර සංවේදි ක්‍රියාකාරි සැලසුම් බවට පත් කරන්න කටයුතු කළා. ඇත්තටම අපි මේ පළාතට අවශ්‍ය විදිහට මේ  සැලසුම් අලුතින් හදන්න ඕනේ. අපි හැමෝම ඒ වෙනුවෙන් වඩාත් මහන්සි වෙනවා.

අපි වසවිස නැති ගොවිතැන හදුන්වලා දුන්නා. අපි ඒ ගත්ත ක්‍රියාමාර්ග පිටුපස්සට  යනවා. එසේ නොවී එම වැඩසටහන ඉදිරියට යන්න ඕනෑ. අපේ පළාත ආදර්ශමත් ගොවිතැනක් ඇති පළාතක් විය යුතුයි.

නැගෙනහිර පළාත ඉතාමත් හොද පුරාවිද්‍යා ස්ථාන තියෙන පළාතක් පුරාවිද්‍යා ස්ථාන බොහෝමයක්ම බෞද්ධ ශිෂ්ටාචාරයට අයත් බෞද්ධ දේවල්. ඒවා ආරක්ෂා කරගන්න මම හුගක් මහන්සි වුණා. කවදාවත් හිතන්න එපා මම මේ බෞද්ධකම විතරක් ආරක්ෂා කරන්න හදනවා කියලා අපේ රටේ බෞද්ධ ශිෂ්ඨාචාරයක් තියෙන්නේ ඒ බෞද්ධ ශිෂ්ටාචාරයට අයිති දේවල් තමයි මේ පුරාවිද්‍යා ස්ථාන.  අපි අපේ රටේ තියෙන ශිෂ්ඨාචාරය ආරක්ෂා කරන්න ඕනේ. එහෙම වුනොත් තමයි සහයෝගයෙන් සහජීවනයෙන් ජිවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන අතර අපි අලුතින් හිතලා තියෙනවා සංචාරක ව්‍යාපාරයට එය එකතු කරන්න.

සියළු දෙනාම ඉතාමත් වාසනාවන්ත පවුලක් විදිහට වැඩ කරන්න ඕනේ. සතුටු පවුලක් වෙන්න කලින් සතුටු පුද්ගලයෙක් වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතේ තුනෙන් දෙකක කාලයක් ඉන්නේ කාර්යාලයේ ඒ නිසා සතුටින් වැඩ කිරීම ඉතාමත් වැදගත්.” යැයිද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

E1M1 01 01 2021E1M2 01 01 2021E1M3 01 01 2021

© Provincial Planning Secretariat - EPC