E2M1 02 03 2021

වසවිසෙන් තොර වී ගොවිතැන හරහා අක්කර දසදහසක ඉලක්කයක් කරා යෑම සිය බලාපොරොත්තුව වන බව නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

එය කාබනික ගොවිතැන තවතවත් ප්‍රචලිත කිරීමේ හැරවුම් ලක්ෂයක් වන බව ද ගරු ආණ්ඩුකාරවරිය කීවාය. දැයට හිතැති ගොවිතැන ව්‍යාපෘතිය යටතේ ගෝමරන්කඩවල කිඹුල්පැටියාව වෙල්යායේ වී අස්වනු නෙලීමේ අවස්ථාවට පසුගිය දා එක් වෙමින් ගරු ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.

එහිදි වැඩිදුරටත් අදහස් ගරු ආණ්ඩුකාරවරිය මෙසේද කීවාය.

“අපේ අනාගත දරුපරපුර නීරෝගීමත් ලෙස රටේ සංවර්ධනයට දායක කර ගන්නනම් වසවිසෙන් තොර ආහාර රටාවකට පුරුදු විය යුතුයි. රෝගි පරපුරකින් සමාජයට කිසිම සෙතක් සිදු වන්නේ නෑ. වකුගඩු රෝගින් වැඩිම ප්‍රමාණයක් අද ඉන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ. ඔවුන් අද මේ වකුගඩු රෝගය නිසා විශාල ලෙස දුක් විදිනවා. සෞඛ්‍යය අංශ වලටත් මේ රෝගීන් වැඩි වීම ප්‍රශ්ණයක්. එසේ නම් අප සිදු කළ යුත්තේ එම රෝගය ඇති වීමට ඇති හේතු අවම කිරීමයි. ඒ නිසාම යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව වෙනුවෙන් අලුතින් ලබා දුන් අක්කර 600ක් අපි වසවිසෙන් තොර කලාපයක් කළා. මේ පොළොව අලුත්. සුන්දර යාන් ඔය නිම්නය වසවිස දාලා විනාශ වුනොත් එයින් දුක් විදින්නෙත් මේ අහිංසක ජනතාව. නිරෝගී ජනතාවක් බිහි කරන්න අපට බැරි නම් අපි රටේ මොන සංවර්ධනයක් කළත් වැඩක් නෑ. ඒ නිසා සියළු දෙනාම වසවිසෙන් තොර ගොවිතැනකට යොමු විය යුතුයි යැයි” ද ගරු ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

මේ අවස්ථාවට දැයට හිතැති ගොවිතැන ව්‍යාපෘතියේ උපදේශක ආචාර්ය කීර්ති වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 E2M2 02 03 2021E2M3 02 03 2021

 

 

 

 

© Provincial Planning Secretariat - EPC