E1M2 08 04 2021


කෘෂිකර්මාන්තය මුවාවෙන් රජයේ රක්ෂිත වලට ඇතුළු වී සිදු කරන වන විනාශය නතර කිරීම සදහා අවශ්‍ය තින්දු තීරණ කුමන විරෝධතාවයක් පැවතිය ද අඛන්ඩව ක්‍රියාත්මක කරන බව නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

එහෙත් කෘෂිකර්මාන්තය සිදු කරන ගොවීන්ගේ ඉඩම් නීත්‍යානූකූලභාවය තහවුරු කිරීමෙන් පසු කඩිනමින් ලබාදෙන බවද ඇය කීවාය.

වනාන්තර විනාශ කිරීම නතර කිරීමේ අරමුණින් නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර කාර්යාලයේ මැදිහත් වීම මත ත්‍රිකුණාමලයේ පිහිටි රජයේ රක්ෂිත වලට ඇතුල් වීම වළක්වාලමින් සවි කළ දැන්විම් පුවරු ඉවත් කරන්නැයි ඉල්ලා අද (07) පෙරවරුවේ ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේ ජනතාව දියත් කළ විරෝධතාවය පැවති ස්ථානයට ගිය අවස්ථාවේදි ගරු ආණ්ඩුකාරවරිය මේ බව කීවාය.

කුච්චවේලි පිච්චමල් විහාරයේ ආගමික වතාවත් වලට සහභාගි විමට ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් මෙවැනි විරෝධතාවයක් දියත් කරමින් සිටින බව ගරු ආණ්ඩුකාරවරියට සැල වූවාය.අනතුරුව එම ජනතාවගේ ප්‍රශ්ණ විමසා බැලීම සදහා ගරු ආණ්ඩුකාරවරිය එම ස්ථානයට ගියාය.

එහිදී විරෝධතාකරුවන් ගරු ආණ්ඩුකාරවරියගේ රථ පෙළ නතර කරන්නැයි විරෝධය දැක්වූයේ මාර්ගය මැදට පැමිණෙමිනි. ඒ අවස්ථාවේ ගරු ආණ්ඩුකාරවරිය රථයෙන් බැස ඔවුන්ගේ ගැටළුව කුමක් දැයි විමසු අවස්ථාවෙන් විරෝධතාකරුවන් කියා සිටියේ ගරු ආණ්ඩුකාර කාර්යාලය මැදිහත් වීමෙන් සවි කළ දැන්වීම් පුවරු වහාම ඉවත් කරන ලෙසය.

එම පුවරු සවි කළේ වන සංරක්ෂණ නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ බවත් එසේ තිබියදී එම පුවරු ඉවත් කිරීමට හේතුව කුමක් දැයි ගරු ආණ්ඩුකාරවරිය විමසු අවස්ථාවේ විරෝධතාකරුවන් කියා සිටියේ දැන්වීම් පුවරු පිටුපස තමන් කාලාන්තරයක් තිස්සේ ගොවිතැන් කළ ඉඩම් පවතින බැවින් මෙම පුවරු සවි කිරීමෙන් පසු ඒ සදහා ඇතුළු වීමට නොහැකි තත්වයක් උත්ගතවී ඇති බවය.

අනතුරුව දැන්වීම් පුවරු පිටුපස ඇති එම ඉඩම් නැරඹීම සදහා ද ගරු ආණ්ඩුකාරවරිය ගියාය. එහිදී ඇතැම් පුදගලයන් එම ඉඩම් සදහා දීර්ඝ කාලයක පටන් බලපත්‍ර ඇති බව පැවසූහ.

එහි නීත්‍යානූකූලභාවය සනාථ කිරීමෙන් පසු ගොවිතැන් කටයුතු සිදු කළ හැකි බවත් කෘෂිකර්මාන්තය මුවාවෙන් රජයේ රක්ෂිත වලට ඇතුල් වි වනවිනාශ සිදු කරන්නේ නම් ඊට කිසිදු සමාවක් නොමැති බවත් ගරු ආණ්ඩුකාරවරිය කීවාය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර මේ සදහා විසදුමක් ලබා දෙන බවට ගරු ආණ්ඩුකාරවරිය ලබා දුන් තීරණය හමුවේ විරෝධතාකරුවන් විසිර ගියහ.

E1M3 08 04 2021E1M1 08 04 2021E1M4 08 04 2021

 

 

 

© Provincial Planning Secretariat - EPC